Thursday 12 August 2010

අමයුරු




ඇවිද එක යායක
පබැඳ රස පෙම් ගීයෙක
නොවිඳ මල් පහසෙක
කිමද ළතැවුල් කියනු ඇයි දුක


සුමුඳු මල් පෙත්තේ
නොවිඳු මෙළෙකකි ඇත්තේ
නමුඳු සිත් ගත්තේ
සිනිඳු බව මම ‍රැකිය යුත්තේ


මල් නම් සුවඳමය
කල්යල් බලා තැවෙනුය
විල් තෙර බඹරු මය
මල් සුවඳ වුන් නිතර විඳිනුය


දනිමි ඒ කාරණ
හිදිමි වී විස්ෂෝපන
ඉඳිමි හද බැඳි තැන
පුඳමි පෙම මල වෙතම පෑහුන


ඇතිව හද පුරවා
නිති සෙනේ ගඟ හරවා
නැතිව හිඳ තනිවා
කිති කවා යනු බඹරු සමවා


පැණසර බොහෝමය
අණ නුඹේ හරි සොඳුරුය
මන දොල පිරේ මය
හමන සුළ‍ඟෙත් සුවඳ නුඹගෙය


බඹරු මෙහි වැන්නේ
තඹරු රස විඳගන්නේ
කවුරු විදවන්නේ
මියුරු රස ගැන නැතිද දන්නේ


නිරාමිස රසයත්
විඳීමට හැම අසමත්
ගැලීමෙන් මිඳිලත්
මෙමා අමයුරු රසම විඳගත්.


13 comments:

Anonymous said...

සුවඳ සිත සනසන
මලක පෙති හැඩ අදුරන
මලක සිත නොතලන
බඹරු ලොව හරි විරලය

එවනි බඹරුන් හට
දුක නොදීමය යුතුකම
පැමිණි විට මල වෙත
පවස නිවනෙමි හැකි විලස මල

මල් පෙති වසා ගමි
නුඹට යන්නට නොදෙනෙමි
සුවඳ රස ‍දෙන්නෙමි
දිවි තියෙන තුරු ලගින් ඉන්නෙමි.

priyantha said...

සුමුදු මල් පෙති සිඳිමින
බඹරු ඉගිලෙති එයින් රොන් ගෙන
හැඳින එහි අන වින
රැකිය යුත්තේය ලඟ හිඳිමින

priyantha said...

සුමුදු සමනලුන් එනවා
මලේ රොන් තොසින් බොනවා
මලට නොරිදෙනවා
මලත් සතුටින් සිනා සෙනවා

Shadow/හේමලයා said...

නියම කවි ටික....ඒත් ඔය කොයි මලත් පරවෙලා යනවනෙ ඉතින්.......කොයිතරම් නම් සුමුදු වුනත්...සුවඳින් අනූන වුනත්...පැහැයෙන් ඔප වුනත්....:(

Anonymous said...

@ Shadow/හේමලයා
අනේ ෂැඩෝ... ඔයා මගේ සකුරා මලටත් කීවේ ඔහොම තමයි. ෂැඩෝ.. ඔයා මල් එක්ක තරහද?

Anonymous said...

@ Shadow/හේමලයා
අනේ ෂැඩෝ... ඔයා මගේ සකුරා මලටත් කීවේ ඔහොම තමයි. ෂැඩෝ.. ඔයා මල් එක්ක තරහද?

මැණික්(සුළඟ) said...

මලක මුදු ගුනයට
අවිහිංසක සිනාවට
ලබැඳුනු කතාවට
නොරිසි දන කොයිදෝ ලොව

ලස්සනයි.
මැණික්(සුළඟ)

විහඟ ගීතය said...

@වත්

මලකට බඹරුමය
බඹරුට මල් සුවඳමය
දියදම එලෙසමය
මලට බඹරුන් නැතිව බැරිවිය

විහඟ ගීතය said...

@ priyantha.ඒබී

මලෙක සුව විඳුමත්
මල් සුවඳ විඳ ගැනුමත්
දෙකකි මට තවමත්
විඳි සුවඳ මතකයකි ලොබගත්

විහඟ ගීතය said...

@ Shadow/හේමලයා

පිපුනු මල් පරවේ
නමුදු සුවඳම සිහිවේ
බඹරුණට නතුවී
හැඬූ මල් හෙම නැතිද සිහිවී

විහඟ ගීතය said...

@ මැණික්(සුළඟ)

මලක් නම් මල මැයි
පෙලක් මල් ගුණ සුවඳයි
නො එක් හැඩ පෙනුමයි
හැඩත්, සුවදත්, දෙකම විරලයි

Eranga Perera (Muthu Paba) said...

Methana kavi ranchuwak ne. Hondayi hondayi.. thawath liyanna

විහඟ ගීතය said...

@ Muthu Paba

මල් මෙන්ම බඹරුද
ඇල්මෙන් ගෙවුනු අයුරුද
කල් ගෙවී ගියෙනුද
නිමල මතකෙන් අවදි වී හද